Helping Hand අත්වැල - 01-10 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තාව ප්‍රශස්ත ආකාරයෙන් සකසා ගන්නා ආකාරය

Helping Hand (Sri Lanka Accountant Service)

By Upali Rajapaksa

අත්වැල - පාඩම අංක 01-10



වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තාව ප්‍රශස්ත ආකාරයෙන් සකසා ගන්නා ආකාරය

භෞතිකව භාණ්ඩ සමීක්ෂණ කටයුතු නිම කිරීමෙන් පසුව, සමීක්ෂණ මණ්ඩලය විසින් අමාත්‍යාංශ ලේකම්/දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත සමීක්ෂණ කටයුතු වලට අදාල සියලු තොරතුරු සහ සිය නිරීක්ෂණ හා ඒ මත පදනම්වූ නිර්දේශ ඇතුලත් කොට වාර්තාවක් සැපයිය යුතුය. එම වාර්තාවට අඩංගු කර ඇති කරුණු හා නිර්දේශ පදනම් කර ගනිමින්, ප්‍රධාන ගනන් දීමේ නිලධාරියාට හා ගනන් දීමේ නිලධාරියාට ගබඩා කළමනාකරණය සම්භන්ධයෙන් නිවැරදි තීරණ ගැනීමට පහසු වන පසුබිමක් සහිතව ප්‍රශස්ත ආකාරයට වාර්තාව සැකසිය යුතුව ඇත. 

ප්‍රශස්ත මට්ටමේ සමීක්ෂණ වාර්තාවක් සැකසීම සඳහා අනුගමනය කල යුතු පියවර  
  1. වාර්තාව මගින් ආමන්ත්‍රණය කල යුත්තේ සමීක්ෂණ කාර්යයට බලය ලබාදුන් පුද්ගලයාය.
  2. වාර්තාවේ පළමු ජේදය මගින් සමීක්ෂණ කාර්යයට බලය ලබාදුන් පත්වීමේ ලිපිය පිළිබඳව හා පුද්ගල නාම සහ තනතුරු නාම සහිතව සමීක්ෂණ මණ්ඩලයේ සංයුතිය දක්වන්න.
  3. දෙවන ජේදය මගින් භාණ්ඩ සමීක්ෂණයේ සීමා දක්වන්න. එනම් සමීක්ෂණ මණ්ඩලය විසින් ඇතිකරගත් සීමා හා සමීක්ෂණයට භාජනය වූ ආයතනය විසින් ඇතිකල සීමාවන් මොනවාදැයි පැහැදිලිව දක්වන්න.
  4. තෙවන ජේදය මගින් සමීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ගබඩා කළමනාකරණය සඳහා භාවිතා කල ගබඩා පොත්පත්, ඉන්වෙන්ටරි ලේඛණ, ලිපිගොනු හා වෙනත් වාර්තා හා ලේඛණ පිලිබඳ විස්තර දක්වන්න.
  5. සතරවන ජේදය මගින් සමීක්ෂණ කටයුතු සඳහා භාවිතා කල ක්‍රමවේදයන් කෙටියෙන් විස්තර කරන්න.
  6. පස්වන ජේදය මගින් පුර්ව වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව හෙළිදරව් කර ඇති කරුණු හා නිර්දේශ මත පදනම්ව ප්‍රධාන ගනන් දීමේ නිලධාරියා/ගනන් දීමේ නිලධාරියා විසින් ලබා දී ඇති උපදෙස් හා නියෝග කොතෙක් දුරට අනුගමනය කර ඇත්ද යන්න පිළිබඳව විස්තර දැක්විය යුතුය.
  7. සයවන ජේදය මගින් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය විසින් හෙළිදරව් කරගත්, නිකුත් කිරීමේ නියෝග හා ලැබීම් නියෝග කළමනාකරණයේ අඩුපාඩු හා ඒ මතින් ගබඩා පොත්පත් හා ඉන්වෙන්ටරි ලේඛණ වලට ඇතිව තිබු බලපෑම විස්තර කල යුතුය.
  8. හත්වන ජේදය මගින් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය විසින් හෙළිදරව් කරගත්, භාණ්ඩවල අතිරික්තතාවයන් වෙන වෙනම දක්වන්න. ඒවා ප්‍රමාණාත්මකව වැඩි නම්, ඒවා වෙනම ලේඛනයකට ඇතුලත් කොට, වාර්තාවට ඇමුණුමක් ලෙස ඉදිරිපත් කරන්න.
  9. අටවන ජේදය මගින් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය විසින් හෙළිදරව් කරගත්, භාණ්ඩවල ඌනතාවයන් වෙන වෙනම දක්වන්න. ඒවා ප්‍රමාණාත්මකව වැඩි නම්, ඒවා වෙනම ලේඛනයකට ඇතුලත් කොට, වාර්තාවට ඇමුණුමක් ලෙස ඉදිරිපත් කරන්න.
  10. නමවන ජේදය මගින් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය විසින් හෙළිදරව් කරගත්, ගිණුම් තැබීමේ මුලධර්ම වලට අනුගත නොවීම් ඇත්නම් ඒ පිලිබඳ විස්තර දක්වන්න.
  11. දසවන ජේදය මගින් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය විසින් හෙළිදරව් කරගත් ගබඩා කළමනාකරණයේ අඩුපාඩු කෙටියෙන් විස්තර කරන්න.
  12. එකොලොස්වන ජේදය මගින් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය විසින් හෙළිදරව් කරගත් සියලු කරුණු මත පදනම්ව කරනු ලබන නිර්දේශ හා යෝජනා ඉතා පැහැදිලිව සැකෙවින් දක්වන්න. මෙම නිර්දේශ හා යෝජනා මුදල් රෙගුලාසි, සම්මත ගිණුම් මුලධර්ම හා අදාල චක්‍රලේඛ වල සඳහන් විධි විධානයන්ට එකඟව ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතුය.
  13. අවසාන ජේදය මගින් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයට, භාණ්ඩ සමීක්ෂණ කාර්යය සාර්ථකව ඉටු කර ගැනීමෙහි ලා පුර්ණ සහාය පලකල, දෙපාර්තමේන්තු ප්‍රධානියාට, ගබඩා නිලධාරියාට, ගබඩා භාරකරුට සහ ආයතනයේ විවිධ මට්ටමේ නිලධාරීන්ට ස්තුතිය පල කරමින් අවසන් කරන්න.
  14. භාණ්ඩ සමීක්ෂණ වාර්තාවේ පිටපත් වෙනත් කිසිම පාර්ශවයක් වෙත යොමු නොකිරීමට සහතිකවම වග බලා ගන්න.
  15. භාණ්ඩ සමීක්ෂණ වාර්තාව සභාපති ඇතුළු සියලුම සාමාජිකයන් විසින් අත්සන් තබා ඉදිරිපත් කල යුතුය.
  16. භාණ්ඩ සමීක්ෂණ වාර්තාව සමඟ පහත සඳහන් ලේඛනද ඉදිරිපත් කිරීමට කටයුතු කල යුතුය.
                                                        i.             ගබඩා භාණ්ඩ සත්‍යෙක්ෂණය - T & A 66 (භා.ග.ග.ප.66)
                                                       ii.            ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ - Genaral 47 (පොදු 47)

  •  මීළඟ පාඩමෙන් සමීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම පිළිබඳව බලාපොරොත්තු වන්න.


Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි