රාජ්‍ය මුල්‍ය පාලනය හා ජනාධිපතිවරයාගේ බලතල


රාජ්‍ය මුල්‍ය පාලනය හා ජනාධිපතිවරයාගේ බලතල

මේ දිනවල රාජ්‍ය මුල්‍ය කටයුතු සම්භන්ධයෙන් ජනාධිපතිතුමා සතුව ඇති බලතල හා එහි සිමාවන් පිළිබඳව බොහෝදෙනා සාකච්ජා කරමින් සිටින අතර, ඔවුන් අතර විවිධ මතවාද පවතින බව පෙනීයන කරුණකි. එබැවින් එම කාරණය පිළිබඳව ව්‍යවස්ථාපිත නිතිය මත පදනම්ව කරුණු දැක්වීමක් කිරීමට අදහස් කලෙමි.
මෙම සටහන රජයේ මුදල් රෙගුලාසි පිලිබඳ අවභෝධයක් ලබා ගැනීමට උනන්දුවක් දක්වන්නන් පමණක් ඉලක්ක කොට පමණක් නිර්මාණය කර ඇති අතර, මෙය තුල කිසිදු දේශපාලන මතවාද මත පදනම්වූ අර්ථකථනයන් අඩංගුව නොමැති බව කාරුණිකව සලකන්න.

ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාමය අයිතීන්
-           ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 62 ව්‍යවස්ථාව පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීම.
-           ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 ව්‍යවස්ථාව පරිදි මුදල් ඇමතිවරයා පත් කිරීම.
-           ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 52 ව්‍යවස්ථාව පරිදි අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීම.
-           ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150 (3) හා (4) ව්‍යවස්ථාව පරිදි ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කර ගැනීම.
-           ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 151 ව්‍යවස්ථාව පරිදි අවිනිශ්චිත අවස්ථා අරමුදලින් අත්තිකාරම් ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දීම.
-           අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරමින් මූල්‍ය නීති කෙටුම්පත් අනුමත කිරීම හා කෙටුම්පත් සම්භන්ධ අදහස් දැක්වීම හා යෝජනා සංශෝධනය කිරීම.
-           කොමිෂන් සභාවලට නිලධාරීන් පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට නාම යෝජනා ඉදිරිපත් කිරීම.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන

ශ‍්‍රී ලංකා ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී සමජවාදී ජනරජය විසින් 1978 දී සම්මත කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  XVII පරිච්ජේදයේ සඳහන් විධිවිධාන රාජ්‍ය මූල්‍ය පාලනය සම්භන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් අදාල වේ.
148 ව්‍යවස්ථාව - රාජ්‍ය මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතුවේ.  පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද නීතියකට අනුකූලව මිස කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ පලාත් පාලන ආයතනයකට කිසිදු බද්දක් හෝ ගාස්තුවක් පැනවිය නොහැක.
149 ව්‍යවස්ථාව - (1) ජනරජය සතු සියළුම අරමුදල් වලින් සමන්විතවු ඒකාබද්ධ අරමුදල නමින් වූ අරමුදලක් ඇත. නිශ්චිතව සඳහන් කර ඇති කරුණකට හැර අනෙක් සියළුම මාර්ග වලින් ලැබෙන ආදායම් හා ලැබීම් මෙම අරමුදලට ගෙවිය යුතුය.
                 (2) රාජ්‍ය ණය අරමුදල් පොලී, නිදන් අරමුදලට ගෙවන මුදල්, ඒකාබද්ධ අරමුදල එකතු කිරීමට හා පාලනයට යන වියදම් සහ පාර්ලිමේන්තුව නිශ්චය කරනු ලබන වියදම් ඒකාබද්ධ අරමුදලට වැය බරකි.

ඒකාබද්ධ අරමුදල
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 149 ව්‍යවස්ථාවේ සඳහන් පරිදි “නියමිත කාර්ය සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවාවූද, ජනරජය සතුවූද, සියළුම අරමුදල් එක්ව ඒකාබද්ධ අරමුදල නමැති අරමුදලක් වන්නේය” යනුවෙන් සඳහන් කර ඇත. µමම ඒකාබද්ධ අරමුදලට ලැබීම් වශයෙන් සියළුම අයබදු, තීරුබදු, වරිපනම් හා ගාස්තු වලින් ලැබෙන ආදායම්ද, නීතියෙන් වෙන් කරනු නොලැබුවාවූද රජයේ වෙනත් සියළු ආදායම්ද එකතු කල යුතුය.

පාර්ලිමේන්තුව සම්මත කරනු ලැබූ නීතියක් යටතේ ඒ ඒ විශේෂිත අරමුදල් වලින් දැරිය යුතු බවට නියම කරනු ලැබූ වියදම් හැර, අනෙකුත් සියළුම රජයේ වියදම් µමම ඒකාබද්ධ අරමුදලෙන් දැරිය යුතු අතර, ඒකාබද්ධ අරමුදලෙන් මුුදල් ඉවත් කර ගැනීමට මුදල් ඇමතිවරයා විසින් අත්සන් කරනු ලබන බලපත‍්‍රයකින් අධිකාරී බලය ලැබී තිබිය යුතුය. එම බලපත‍්‍ර වොරන්ට් බලපත‍්‍ර ලෙස හඳුන්වයි.

ඒකාබද්ධ අරමුදලෙන් දැරීමට පාර්ලිමේන්තුව අනුමත කරන වියදම්

   සැපයුම් සේවා
වාර්ශික විසර්ජන පනතින් අනුමත කල වියදම්, පරිපූරක ඇස්තමේතුවකින් බලය දෙන වියදම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150.3, 150.4 ව්‍යවස්ථා අනූව ජනාධිපති විසින් අධිකාරී බලය දෙන වියදම්

·         විශේෂ නීති සේවා
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව සළසා ඇති විධි විධාන මත හැර වෙනත් අනුමත විශේෂ නීතියක් මගින් දැරීමට අනුමත වියදම්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව බලය දෙන ලද එවැනි වියදම් ලෙස, ජනාධිපතිගේ වැටුප, මැතිවරණ කොමසාරිස්, විගණකාධිපති යන අයගේ වැටුප, වෙනත් විශේෂ නීතියක් මගින් බලය දී ඇති වැන්දඹු අනත් දරු විශ‍්‍රාම වැටුප (සිවිල්), සේවක අර්ථ සාධක අරමුදලේ රජයේ දායකත්වය, සහ එම කාර්ය මණ්ඩලයේ වියදම්, භාණ්ඩාගාර බිල්පත් සඳහා පොලී.
150 ව්‍යවස්ථාව - (1) මුදල් විෂය භාර ඇමතිවරයාගේ අත්සන යටතේ වූ බලපත‍්‍රයක අධිකාරය අනුව මිස, ඒකාබද්ධ අරමුදලෙන් කිසිම මුදලක් ඉවත් කර ගත නොහැක. එම අධිකාරී බලය සහිත ලියවිල්ල වොරන්ට් බල පත‍්‍රය වේ.
ඒකාබද්ධ අරමුදලින් මුදල් වෙන් කර ගැනීම සඳහා ඉහත පරිදි වොරන්ට් බල පත‍්‍ර මුදල් ඇමතිවරයා විසින් අත්සන් කොට භාණ්ඩාගාර ලේකම්/නියෝජ්‍ය ලේකම් වෙත යවනු ලබන අතර, ඔවුන් විසින් වොරන්ට් බලපත‍්‍ර වල ඇතුලත් අධිකාරී බලය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දන්වා යවනු ලැබේ.
 (2) ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් හෝ
වෙනත් නීතියකින් මුදල් වෙන්කොට දී තිබුනහොත් මිස ඉහත කී බල පත‍්‍රය නිකුත් නොකල යුතුය.

                 (3) විසර්ජන පණත සම්මත වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හොත්, එවිට රජයේ සේවාවන් සඳහා මුදල් වෙන්කර නොතිබුනේ නම්, අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට ඉදිරියට මාස 3 ක කාලයක් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දැරීමට බලය දීමට ජනාධිපතිවරයාට බලය ඇත.
                 (4) ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කර ඇති විටක, එම මැතිවරණය සඳහා කලින් ප‍්‍රතිපාදන සළසා නොමැති නම්, ඒ සඳහා ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දැරීමට බලය දීමට ජනාධිපතිවරයාට බලය ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රාජ්‍ය මූල්‍ය කටයුතු වලදී සැළසුම්කරණය, වැඩ සටහන් සම්පාදනය සහ ක‍්‍රියාත්මක කිරීම යන පියවරයන් සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වේ. එවැනි අනුමැතිය ලබාගත යුතු අවස්ථා කිපයක් පහත දක්වා ඇත.
(i.)      දිගු කාලීන ප‍්‍රාග්ධන වැඩ සටහන් සම්භන්ධයෙන් වන සැළසුම් හා උපාය මාර්ගයන් සඳහා අනුමැතිය ලබා දීම.
(ii.)     සය අවුරුදු ආයෝජන වැඩ සටහන් ඇතුළු ප‍්‍රාග්ධන ව්‍යාපෘති හා වැඩ සටහන් අඳහා අනුමැතිය ලබා දීම.
(iii.)    සම්මත උපරිම සීමාව ඉක්මවාලන මුළු පිරිවැය ඇස්තමේන්තු වල සශෝධනයන් සඳහා අනුමැතිය ලබා දීම.
(iv.)    විදේශ රාජ්‍යයන් හා මූල්‍ය ආයතන සමඟ ණය ගිවිසුම් වලට එළබීම.
(v.)     වාර්ෂික විසර්ජන පණත ඇතුළු මූල්‍ය පණත් හා යෝජනා සඳහා අනුමැතිය ලබා දීම.
(vi.)    කැබිනට් මණ්ඩල ප‍්‍රසම්පාදන කමිටුව පත් කිරීම හා එහි කටයුතු පවත්වා ගෙන යාම.
(vii.)    වෙනත් ආකාරකින් ඉඩකඩ සළසා නොමැති, පත් කිරීම්, ගෙවීම් සඳහා බලය දීම් ආදිය සිදු කිරීම.

පැහැදිලි කිරීමේ සටහන

2020 වසර සඳහා අය වැය (විසර්ජන පනත) සම්මත කිරීමකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බැවින් පහත තත්වයන් නීතිමය වශයෙන් වලංගු වේ.
1.       ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) ව්‍යවස්ථාවට අනුව 2020 ජුනි මස 02 දින දක්වා ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දැරීමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් ඇත.
2.       ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (4) ව්‍යවස්ථාවට අනුව 2020 මාර්තු මස 02 දින නිකුත් කරන ලද ඉදිරි මහ මැතිවරණයට අදාල වියදම් ඒකාබද්ධ අරමුදලෙන් දැරීමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් ඇත. ඊට මහ මැතිවරණය පවත්වනුයේ කුමණ දිනක්දීද යන්න අදාල නොවේ.
3.       එහෙත් නියම්ත දිනය වූ 2020 අප්‍රේල් 25 දිනට මහ මැතිවරණය නොපවත්වා 2020 ජුනි මස 02 දිනෙන් පසු දිනක් වන ජුනි මස 22 දින පැවැත්වීමට නියම කර ඇති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) ව්‍යවස්ථාවට අනුව ඒකාබද්ධ අරමුදලෙන් රාජ්‍ය පොදු වියදම් දැරීමට ජනාධිපතිවරයාට ඇති නීතිමය බලය පිළිබඳව ගැටලුවක් පැන නැගිය හැකි බව පෙනේ.
ඉතිහාසයේ කවර දිනකදී හෝ කලින් නියම කල දිනට මේ ආකාරයෙන් මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වී නොමැති බැවින් ඊට කිසිදු පුර්වාදර්ශයක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද ඒ පිලිබඳ පැහැදිලි නිශ්චිත විධිවිධාන දක්නට නොමැත.
එබැවින් නීති විශාරදයන් විසින් තත්වය විශ්ලේෂණය කොට 2020 ජුනි මස 02 දිනට පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව ඒකාබද්ධ අරමුදලෙන් රාජ්‍ය පොදු වියදම් දැරීමට ජනාධිපතිවරයාට ඇති නීතිමය බලය පිළිබඳව නිවැරදි අර්ථකථනයක් දෙන තෙක් බලා සිටීම හැර වෙන කල හැකි කිසිවක් නොමැත.

(මීළඟට අවිනිශ්චිත අවස්ථා අරමුදල පිළිබඳ පාඩම බලාපොරොත්තු වන්න.)

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි