Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.2 කොටස


"වත්කම් කළමනාකරණය"
2.2 අත්වැල

(මෙම පාඩම පිටපත් කර ගැනීමට පෙර, Helping Hand අත්වැල - පාඩම අංක 02.1 "වත්කම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පසුබිම" පාඩම පිටපත් කර ගෙන අධ්‍යයනය කරන්න. මෙම පාඩම් මාලාව කොටස් 30 කින් පමණ ඉදිරපත් කිරීමට අපේක්ෂා කරන බැවින් මෙහි සෑම කොටසක්ම අනුපිළිවෙලින් ගොනුකර ගැනීමට සැලකිලිමත් වන්න. එය ඔබට ඔබ ආයතනයේ වත්කම් කළමනාකරණය කාර්යක්ෂමව ඉටු කර ලීමට ඉවහල් විය හැකි අතර, දැනුමද වර්ධනය කර ගැනීමටද ඉවහල් වේ.) 

උදෘත පාඨය
" ආයතයනයක පවතින සියලු වත්කම් "සිගාස්" (Cigas) පරිගණක වැඩ සටහනට ඇතුලත් කල පමණින් සාර්ථක හා කාර්යක්ෂම වත්කම් කළමනාකරණයක් සිදු නොවේ."

අරමුණ
සමහර ආයතනවල සියලුම වත්කම් මේ වන විට සිගාස්" (Cigas) පරිගණක වැඩ සටහනට ඇතුලත් කර ඇති බවට සමහර ගණකාධිකාරිවරුන්ද, වගකිව යුතු අනෙකුත් ඉහල නිලධාරින්ද, විෂය භාර නිලධාරීන්ද මහත් සෑහීමකට පත්වී ඇති බව ඔවුන් කරන ප්‍රකාශ තුලින් අධ්‍යයනය කරන්නට ලැබිණි. එය සත්‍යද? සියලු වත්කම් "සිගාස්" (Cigas) පරිගණක වැඩ සටහනට ඇතුලත් කල පමණින් සාර්ථක හා කාර්යක්ෂම වත්කම් කළමනාකරණයක් සිදුවේද? සාර්ථක වත්කම් කළමනාකරණයකට ආයතනයක වත්කම් ගිණුම් තැබීමට අමතරව ඒ සම්භන්ධයෙන් ඉටු කලයුතු ප්‍රබල හා ප්‍රමුඛ කාර්යයන් බොහොමයක් පවතින බවට වත්කම් කළමනාකරණ මුලධර්ම පිලිබඳ සැලකීමේදී පෙනී යයි. එම මුලධර්ම පිළිබඳව සාකච්චා කිරීම මෙම පාඩම් මාලාවේ අරමුණයි.

වර්තමානය දක්වා ආ ගමන් මඟ
බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් පවත්වා ගෙන යන ලද සිවිල් පරිපාලන කටයුතු නිදහස ලැබීමෙන් පසු ක්‍රමයෙන් ශ්‍රී ලාංකිකයන් අතට පත්විය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ සිවිල් පරිපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමේ හැකියාව පුර්ණ වශයෙන්ම අප වෙත ලැබිණි. බ්‍රිතාන්‍ය ජාතිකයන් වෙතින් අප වෙත ලද වටිනා දායාදයක් වන්නේ රාජ්‍ය මුදල් රෙගුලාසින්ය. එම මුදල් රෙගුලාසි 1966 දී විධිමත් ලෙස ලේඛන ගත කරන ලද අතර, 1992 වසරේදී නැවත සංස්කරණයට ලක්විය. එම සංස්කරණයේ සමහර කොටස් වලට මේ වන විට විශාල වශයෙන් අතිරේඛයන් එකතු කර ඇත. ඒවාට උදාහරණ ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා වත්කම් කළමනාකරණය දැක්විය හැක.
මුදල් රෙගුලාසි වලට අනුකුලව රාජ්‍ය ආයතන විසින් පවත්වාගෙන යා යුතු පොත්පත්, ලේඛන හා ආකෘති පත්‍ර බොහොමයක් මෑත කාලය දක්වාම භාවිතයට ගනු ලැබුයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් හඳුන්වා දුන් ඒවා වේ. වත්කම් සම්භන්ධයෙන් පවත්වා ගෙන යාමට නියමිත වූ පොදු 287 වත්කම් ලේඛනයද, පොදු 288 වත්කම් ලේජරයද, පොදු 290 වත්කම් මාරු කිරීමේදී දෙපාර්තමේන්තු අංක ඇතුලත් ලේඛනයද  එවැන්නකි. එහෙත් මෙම ලේඛන රාජ්‍ය අංශය තුල පුර්ණ ලෙස භාවිතයට ගැනීමට නොහැකි වුයේ ඒවායේ පැවති යල්පැනගිය ස්වභාවය මෙන්ම, ආර්ථික සංවර්ධනයත් සමඟ හඳුන්වා දෙනු ලැබූ නව මාදිලියේ වත්කම් හේතු කොට ගෙන වේ. උදාහරණ ලෙස පරිගණක මෙවලම් දැක්විය හැකිය. මෙම ලේඛන ආයතන තුල කාලීනව පවත්වාගෙන නොයාම ගණකාධිකාරිවරුන්ගේ අසමත්භාවයක් ලෙස විගණනය සෑම විටම විගණන වාර්තා වලින් පිළිඹිබු කරන ලදී. නමුත් ඒ පිළිබඳව තිබෙන අපහසුතා පෙන්වා දීම හැර ගණකාධිකාරිවරුන්ට කල හැක්කක් නොවිය. එම ලේඛන සංවර්ධනය කිරීම ජාතික ප්‍රතිපත්ති තනන්නන්ගේ කාර්යභාරයකි.
තත්වය වටහාගත් භාණ්ඩාගාරය පසු ගිය වකවානුව තුල උත්සාහයන් රාශියක් ගැනීමෙන් අනතුරුව රාජ්‍ය වත්කම් කළමනාකරණය සඳහා කොම්ප්‍රෝලර් ජෙනරාල් තනතුරක් ඇතිකොට වත්කම් වාර්තාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කොට ඇති අතර, සිගාස් පරිගණක වැඩ සටහන සටහන හරහා වත්කම් වල වටිනාකම් නිවැරදිව ගිණුම්ගත කිරීමට කටයුතු මේ වන විට සලසා ඇත.

මෑත කාලින ක්‍රියාකාරකම්
1.      1996 - 2000 දක්වා ක්‍රියාත්මක වූ ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය මත ගණකාධිකාරිවරුන් සඳහා හැකියා වර්ධන පුහුණු වැඩ සටහන් මුදල් අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී විවිධ විෂයන් පාදක කරගෙන වැඩ සටහන් සංවර්ධනය කිරීමද ක්‍රියාත්මක විය. එහිදී ප්‍රමුඛ වශයෙන් සිගාස් (Cigas), වැටුප් (Payroll), වත්කම් කළමනාකරණය වැනි වැඩ සටහන් රාශියක් සංවර්ධනය කිරීමට කටයුතු කෙරිනි.මෙම වැඩ සටහන් තුන සඳහා සම්පත්දායකයෙකු ලෙස කටයුතු කිරීමට හැකිවීම මහත් භාග්‍යක් ලෙස සලකන අතර, මගේ රාජකාරි දිවියේ අමතක නොවන අත්දැකීමක් ලෙසද සලකමි.
ඉන් සිගාස් (Cigas), වැටුප් (Payroll), වැඩ සටහන් නිර්මාණය කොට සාර්ථකව දියත් කරන ලද නමුත්, අවාසනාවකට වත්කම් කළමනාකරණයට අදාල ක්‍රියාවලිය සංවර්ධනය කොට, 1999 වසරේදී ඊට අදාල අත්පොත පවා මුද්‍රණය කලද, 2000 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කලද, කුමන හේතුවක් නිසා හෝ අත්හිටුවන ලදී.

2.      2002.11.28 දිනැති භාණ්ඩාගාර චක්‍රලේඛ අංක IAI/2002/02 - පරිගණක උපාංග සහ මෘදුකාංග සම්භන්ධයෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් නඩත්තු කිරීම. (2018.11.21 දිනැති රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ අංක 267/2018 මගින් මෙම චක්‍රලේඛය අවලංගු කර ඇත)
3.      2004.02.20 දිනැති අංක 402(01) දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය - අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් වාර්ෂික ගිණුම් හා කාර්ය සාධන වාර්තාව පිළියෙළ කිරීම.
4.      2004.10.18 දිනැති අංක 174 දරන රාජ්‍ය ගිණුම් චක්‍රලේඛය - සංචලන වත්කම් හෙළිදරව් කිරීම.
5.      2006.07.30 දිනැති අංක 422 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය - 2006.06.30 දිනට රජය සතු වත්කම් පිලිබඳ තොරතුරු
6.      2009.09.01 දිනැති විගණන කළමනාකරණ චක්‍රලේඛය - වත්කම් වාර්තා තබා ගැනීම හා අභ්‍යන්තර විගණනය
7.      2009.11.13 දිනැති අංක 438 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය - රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අපහරණය කලයුතු භාණ්ඩ කඩිනමින් අපහරණය කිරීම.
8.      2013.01.24 SA/AS/AA/Circular - 2013 වර්ෂයේ සිට උපචිත පදනම මත වාර්ෂික ගිණුම් පිළියෙළ කිරීම.
9.      2013.06.24 GFS/02 - උපචිත පදනම් ගිණුම්කරණය ක්‍රියාත්මක කිරීම
  2013.07.12 SA/AS/AA/Circular - ස්ථාවර හා ජංගම වත්කම් උපචිත පදනම මත ගිණුම් තැබීම හා  කේත හඳුන්වා දීම
11.  2015.07.10 දිනැති අංක 02/2015 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය - රාජ්‍ය ආයතන වල පවතින අබලි වාහන අපහරණය කිරීම.
12.  2016.02.12 දිනැති අංක 02/2016 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය - 1992 මුදල් රෙගුලාසි අංක 108 සංශෝධනය
13.  2017.06.28 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 01/2017 - වත්කම් හා පිරිවැය කළමනාකරණය සඳහා රජයේ සියලු මුල්‍ය නොවන වත්කම් ලේඛනගත කිරීම
14.  2018.03.22 දිනැති රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2015 (XII} - රාජ්‍ය අදායම් ඇස්තමේන්තු කිරීම, රැස්කිරීම, අධීක්ෂණය සහ වාර්තා කිරීම පිලිබඳ මාර්ගෝපදේශය.
15.  2018.11.21 දිනැති රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ අංක 267/2018 - මුල්‍ය ප්‍රකාශන - 2018
16.  2017 වසරේදී වත්කම් කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව යටතේ අභිනවයෙන් කොම්ප්‍රෝලර් ජෙනරාල් කාර්යාලය පිටුවන ලදී (කොම්ප්‍රෝලර් ජෙනරාල් හා ඔහුගේ කාර්යභාරය පිලිබඳ ඉදිරි පාඩමකින් සාකච්ජා කිරීමට අපේක්ෂා කෙරේ.) වත්කම් කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සම්භන්ධයෙන් කොම්ප්‍රෝලර් ජෙනරාල් විසින් මේ දක්වා නිකුත් කර ඇති චක්‍රලේඛ පහත දැක්වේ.
                                i.            2015.07.20 දිනැති අංක 01/2015 සහ ඊට සංශෝධන ඇතුලත් 2016.12.30 දිනැති අංක 01/2015 හා 2018.03.22 දිනැති අංක 01/2015 (XII) රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛයන් මගින් 2018.01.01 දින සිට ප්‍රාග්ධන වත්කම් විකිණීමේ අදායම් ගිණුම් තැබීමේ කටයුතු කොම්ප්‍රෝලර් ජෙනරාල් වෙත පැවරීම.
                               ii.            2017.06.28 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 01/2017 - විදේශයන්හි පිහිටි රජය සතු මුල්‍යමය නොවන වත්කම් වාර්තා කිරීම හා පිරිවැය කළමනාකරණය.
                             iii.            2017.12.21 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 02/2017 -  රජය සතු මුල්‍යමය නොවන වත්කම් කළමනාකරණය - රජය සතු ලියාපදිංචි කල වාහන පිලිබඳ අයිතිය නිරාකරණය කර ගැනීම. 
                             iv.            2017.12.31 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 03/2017 - රජයට අයත් වාහනවල ලියාපදිංචි අයිතිය පිලිබඳ ගැටළු නිරාකරණය කිරීම.
                               v.            2018.03.12 භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි විස්තර ලබාගැනීම.
                             vi.            2018.03.19 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 01/2018 - රජයේ මුල්‍ය වත්කම් කළමනාකරණය - ධාවනය කල නොහැකි තත්වයේ පවතින මෝටර් වාහන අපහරණය
                           vii.            2018.04.26 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 02/2018 - 2019 වර්ෂය සඳහා අදායම් ඇස්තමේන්තු හා 2018 වර්ෂය සඳහා සංශෝධිත ඇස්තමේන්තු. (මෙමගින් මෙතෙක් වෙනත් අදායම් ශීර්ෂයන් යටතේ භාණ්ඩාගාරය වෙත වාර්තා කරන ලද පහත අදායම් සඳහා අදායම් ගණන් දීමේ නිලධාරියා ලෙස කොම්ප්‍රෝලර් ජෙනරාල්වරයා පත් කර ඇත. වාහන 20.06.02.01 හා අනෙකුත් 20.06.02.02 එනම් වාහන හා අනෙකුත් වත්කම් අපහරණයෙන් ලැබෙන ආදායම්)
                         viii.            2018.10.10 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 03/2018 - රජයේ මුල්‍ය නොවන වත්කම් කළමනාකරණය - රජයට අයත් වාහනවල ලියාපදිංචි අයිතිය පිලිබඳ ගැටළු නිරාකරණය කිරීම.
                             ix.            2018.12.31 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 04/2018 - මුල්‍ය නොවන වත්කම් කළමනාකරණය - වාර්තා කිරීමේ මුල්‍ය සිමාව හඳුන්වා දීම හා වත්කම් තක්සේරු කිරීම.
                               x.            2019.06.11 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 02/2019  - වාර්තා කිරීමේ මුල්‍ය සිමා හඳුන්වා දීම හා වත්කම් තක්සේරු කිරීම.
                             xi.            2019.12.04 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 04/2019 - මුල්‍ය නොවන වත්කම් කළමනාකරණය - මෝටර් රථ වාහන භාවිතය
                           xii.            2020.01.03 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 01/2017 (I) - වත්කම් හා පිරිවැය කළමනාකරණය සඳහා වත්කම් ලේඛනගත කිරීම.

·         ඉහත චක්රලේඛ වලට අමතරව භාණ්ඩ සමීක්ෂණ ක්රියාවලියට අදාල දැනට වලංගු සියලුම චක්රලේඛ වත්කම් කලමනාකරණය සඳහාද අදාල වේ. ( භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලිය අත්වැල අංක 01 පාඩම් මාලාවෙන් දැනටමත් සාකච්ජා කර ඇත. ඒවා මෙම සමුහයට පිවිස ලබා ගන්න.)
ඉහත චක්‍රලේඛ සංඛ්‍යාව දෙස බැලූ කල වත්කම් කලමනාකරණය සම්භන්ධයෙන් භාණ්ඩාගාරය විසින් දරන ලද උත්සාහයේ තරම පැහැදිලි වේ. මෙම ක්‍රියාවලියේ සාර්ථකත්වය ගණකාධිකාරිවරුන්ගේ කැපවීම මතම රඳා පවතිනු නොඅනුමානය.

සටහන
A.      මෙය දීර්ඝ පාඩම් මාලාවක් වන අතර, එක් එක් පාඩම් කොටසේදී ඔබට පැන නගින ගැටළු ඇත්නම්, comments මගින් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින අතර, ඒවාට පිළිතුරු සැපයීමට අපේක්ෂාවෙන් පසුවෙමි.
B.      එලෙසම මෙම පාඩම් කොටසට ඇතුලත් කලයුතු නව කරුණු වෙත්නම් ඒවාද මා වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටින අතර, ඔබගේ ඇගයුම් මෙන්ම විවේචනද උපේක්ෂාවෙන් භාර ගනිමි.

(මීළඟට වත්කම් කළමනාකරණයේදී පැන නගින ගැටළු පාඩම බලාපොරොත්තු වන්න.)

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි