Helping Hand අත්වැල - අවිනිශ්චිත අවස්ථා අරමුදල් භාවිතයට ගැනීම හා වගවීම (Accountability) පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් (දෙවන කොටස)


අවිනිශ්චිත අවස්ථා අරමුදල් භාවිතයට ගැනීම හා වගවීම (Accountability) පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් (දෙවන කොටස)

කඳවුරු නිර්මාණය කිරීම
පාසල්, පන්සල්, පල්ලි හා වෙනත් පොදු ස්ථානවල රැකවරණය පතා පැමිණි ජනතාව එම ස්ථානවලින් ඉවත් කොට කඳවුරු වෙත ගෙනයාම රජයේ තවත් ප්‍රමුඛ ප්‍රතිපත්තියක් උනා. (අද නිරෝධායන මධ්‍යස්ථාන ඇති කළා වගේ) එබැවින් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආශ්‍රිතව කඳවුරු තැනීම සඳහා කටයුතු ආරම්භ කළා. එදා ප්‍රසම්පාදන කාර්ය පටිපාටි සංග්‍රහයක් තිබුනේ නෑ. තිබුනේ ටෙන්ඩර් කාර්ය පටිපාටියයි. එහි විධි විධාන එපරිදිම අනුගමනයට ක්‍රමයක් හා වෙලාවක් නෑ. දිස්ත්‍රික් ඉංජිනේරුවරිය විසින් අදාල ඇස්තමේන්තු සකසා ප්‍රාදේශීය ලේකම් හා අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන් මගින් හඳුනාගත් ප්‍රාදේශීය කොන්ත්‍රාත් කරුවන් යොදාගෙන සෘජු කොන්ත්‍රාත් ක්‍රමයට කඳවුරු තැනීමට කටයුතු කලා. ඒවා තැනීමට අදාල නිර්ණායක රජයෙන් ලබා දී තිබුනා. ගෙවීම කලෙත් Lump Sump Payment ක්‍රමයටයි.

කඳවුරුගත ජනතාවට ආහාර පාන ලබා දීම
මාගේ අධීක්ෂණය යටතේ පැවති සුනාමි සහන තොග ගබඩාවෙන් ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීමට දිස්ත්‍රික් ලේකම් විසින් බලය ලබා දුන් පසු මගේ අනුමැතිය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පිහිටි උප ගබඩා වෙත නිකුත් කරන ලදී. කිසිදු විටක පොදු  මහජනතාවට සෘජුව ද්‍රව්‍ය නිකුත් නොකරන ලදී. සමාජ සේවා අමාත්‍යාංශයෙන්, පෞද්ගලික අංශයේ ආයතන වලින් හා කෙලින්ම මහජනතාවගෙන් ලද ආධාර බෙදා හැරීම සඳහා මුදල් රෙගුලාසි වලට අනුකුලව ද්‍රව්‍ය ලැබීම් හා නිකුත් කිරීමේ ආකෘති පත්‍ර අප විසින් නිර්මාණය කර ගන්නා ලදී. 
ලෝක ආහාර සංවිධානයෙන් ලබා දෙන ලද ආධාර බෙදා හැරීම සඳහා එම සංවිධානයෙන් නිකුත් කල සම්මත ආකෘති පත්‍ර භාවිතා කරන ලදී.

අභියෝගයට ලක්වූ විශේෂ අවස්ථා 02 ක්
පළමු අවස්ථාව
ලංකාවේ සියලුම් ලුණු ලේවායන් සුනාමියට හසුවී මළමිනී තැන්පත්ව පැවතීම හේතු කොටගෙන දේශීය දිය ලුණු සැපයීම අඩපණව පැවතීම. පැරණි ලුණු සමහර අවස්ථාවල වෙළඳ පොලේ පැවතියද ඒවා භාවිතයට කඳවුරු විසින් සෘජුවම අකමැත්ත පලකල බැවින් විදේශයන්ගෙන් ආනයනය කල දියලුණු Kg 1 ක් රුපියල් 70  මිලකට කඳවුරු වෙත සැපයීමට සිදු විය. එම වකවානුවේ වෙළඳ පොලේ දියලුණු Kg 1 ක මිල රුපියල් 25 - 30 ත් අතර විය.

දෙවන අවස්ථාව
කඳවුරු ජනයා විසින්ම ප්‍රාදේශීය ලේකම් විසින් අනුමත කරන ලද අහාර වට්ටෝරුවකට අනුව පිසගනු ලබන අතර, එම වට්ටෝරුවට මස්, මාළු, කරවල හා බිත්තර ද අඩංගු විය. කරවල වලින් කොටසක් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සපයා තිබු අතර, අඩුපාඩු කඳවුරු සඳහා වෙන්කළ මුදලින් ග්‍රාම නිලධාරී ඇතුළු කමිටුව විසින් විවෘත වෙළඳ පොලෙන් මිලට ගන්නා ලදී. මළමිනී දකින ලද බැවින් මස් ද, මුහුදේ මළමිනී පාවී යනු දක්නට ලැබුණු හෙයින් මාළු ද ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරන ලදී. බිත්තර බෙහෙතකටවත් සොයා ගැනීමට නොහැකි විය. එබැවින් අවශ්‍ය බිත්තර හා ඒ සමඟම අවශ්‍ය එළවළුද දිසාපති තුමාගේ අනුමැතියෙන් නුවරඑලිය දිසාපති තුමාගේ අනුග්‍රහයෙන් ගුවනින් ගෙන්වා ගන්නා ලදී. (මේ දවස් වල රජය එළවලු මිලදී ගෙන ඇඳිරි නීති පවතින ප්‍රදේශ වල නොමිලේ බෙදා හරින ආකාරයට)
තවත් උදාහරණයන් බොහොමයක් ඇතත් කරුණු පැහැදිලි කර ගැනීමට ප්‍රමාණවත් යයි සිතමි.

විගණන විමර්ශන
2006 වසරේ අවසාන භාගයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් විගණන නිලධාරීන් 05 දෙනෙක් පමණ ගබඩා සංකීර්ණයට පැමිණ ගබඩා ක්‍රියාකාරකම් පිලිබඳ විගණන විමර්ශනයක් සති 02 ක පමණ කාලයක් ගත කොට සිදුකර විගණන වාර්තාවක් දිසාපති තුමා වෙත යොමු කර තිබුණි. මෙකල මෙන් එය තොරතුරු කැඳවීමක් නොවූ අතර, එය කෙලින්ම විගණන විමසුමක් විය.
·         විගණන විමසුම මගින් විමසා තිබු කරුණු කිහිපයක් සංක්ෂිප්තව පහත ැක්වේ. (තවත් කරුණු තිබුනා)

1.      මුදල් රෙගුලාසි කඩ කරමින් පෞද්ගලික අංශයට අයත් මෝටර් බයිසිකල්, ත්‍රි රෝද රථ, ට්‍රැක්ටර්, ට්‍රක් රථ, වෑන් 40 ක ප්‍රමාණයකට රජයේ වියදමින් ඉන්ධන සපයන ලද්දේ මන්ද? එම වාහන මගින් ඉටුකර ගන්නා ලද කාර්ය භාරයන් මොනවාද?
2.      දිය ලුණු විවෘත වෙළඳ පොලෙන් රුපියල් 25 - 30 මිලකට මිලදී ගත හැකිව තිබියදී, ආනනයනික දිය ලුණු කිලෝවක් රුපියල් 70 කට මිලදී ගැනීම තුලින් රජයට මුල්‍යමය පාඩුවක් සිදුකර තිබීම.
3.      දිස්ත්රික්කය තුලින්ම මිලදී ගත හැකිව තිබු බිත්තර හා එළවලු අධික පිරිවැයක් දරා ගුවන් මගින් ගෙන්වා ගැනීම තුලින් රජයට මුල්‍යමය අලාභයක් සිදුකර තිබීම.
අදාල විගණන විමසුමට පිළිතුරු දුන් ආකාරය පැහැදිලි කිරීමට පෙර මුදල් රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරමු.
1992 මුදල් රෙගුලාසි සංග්‍රහයේ ix පිටුවේ සඳහන් "අධිකාර බලය" යනුවෙන් සඳහන් මේ සමඟ අමුණා ඇති ලේඛනය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමි.
ඔබෙන් කි දෙනෙක් සිය රාජකාරි කටයුතු ඉටු කිරීමේදී, විශේෂයෙන් හදිසි ආපදා අවස්ථා වලදී මෙහි සඳහන් කරුණු ගැඹුරින් අධ්‍යයනය කොට හොඳින් අවභෝධ කරගෙන භාවිතයට ගෙන තිබේද?

එම ලේඛනයේ සාරාංශය
·         මෙම මුදල් රෙගුලාසි පනවා ඇත්තේ රජයේ මුදල් ගනුදෙනු නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑම පිණිස මිස, ආයතනයේ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමෙහි ලා භාධාවක් වේය යන අදහසින් නොවන බව.
·         සැපයුම් ලබා ගැනීම, ප්‍රසම්පාදන කටයුතු වැනි කරුණු වලදී නියමිත කාර්ය පටිපාටි වලින් බැහැරව කටයුතු කිරීම පොදු යහපත උදෙසා අවශ්‍ය වී ඇති බව දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට ඒත්තු යන්නේ නම් ඔහුට එසේ කල හැක.

මෙහිදී
1.      එසේ කිරීමට තුඩු දුන් හේතු පිලිබඳ සම්පුර්ණ වාර්තාවක් තබා ගත යුතුය.
2.      තමා ගත් ක්රියාමාර්ගය යුක්ති සහගත බව දෙපාර්තුමේන්තු ප්රධානියා සහතික විය යුතුය.
3.      රෙගුලාසි අපගමනය කිරීම පිලිබඳ වාර්තාවක් වහාම අමාත්යංශ ලේකම්, රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල් සහ විගණකාධිපති වෙත වාර්තා කල යුතුය.

විගණන විමසුමට පිළිතුරු දුන් ආකාරය
ඉහත දැක්වූ විමසුම් වලට අදාල ක්‍රියාකාරී ගොනුවල අංක, අදාල බලය ලබා දීමට පදනම් කර ගත් ලියකියවිලි හා ගොනු සටහන් ඇතුළු සියලුම තහවුරු කිරීමේ සාක්ෂිද ඇතුලත් ගොනුවක් සකසා මුදල් රෙගුලාසි අපගමනයට හේතුවූ ඉහත සටහන් වල ඇතුලත් කරුණු තහවුරු කරමින්, සියලුම කටයුතු සිදු කරන ලද්දේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ පිටු අංක ix හි සඳහන් අධිකාරී බලය යටතේ බලය දී ඇති කරුණු මත පදනම්ව  පොදු මහජන සුබ සිද්ධිය සඳහා අව්‍යාජ්‍යව හා විනිවිදභාවයෙන් යුතුව බව දිස්ත්‍රික් ලේකම් විසින් පෞද්ගලිකවම සහතික කොට වගකීම භාර ගැනීම.
මුදල් රෙගුලාසි අපගමනයන් කල අවස්ථාවේදීම ඒ පිලිබඳ වාර්තාවක් වහාම අමාත්‍යංශ ලේකම්, රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල් සහ විගණකාධිපති වෙත යොමු නොකිරීම වරදක් බව පිළිගැනීම. පිළිතුර ඉදිරිපත් කිරීමට පෙර අදාල අපගමනය පිලිබඳ වාර්තාව අදාල පාර්ශවයන් වෙත යොමු කිරීම. ප්‍රමාදයට හේතු වුයේ කාර්යාලය විනාශ වීම හේතුවෙන් එය පිළිසකර කිරීමට සිදුවීම, කඳවුරු ගත ජනයා වෙනුවෙන් සහන සැලසීම, සුනාමියෙන් විනාශ වූ නිවාස වෙනුවට නිවාස ඉඳි කිරීමේ කටයුතු, ඔවුනගේ ජිවනෝපාය වෙනුවෙන් පහසුකම් සලසා දීම ඇතුළු ව්‍යපෘති රාශියක් වෙනුවෙන් වහාම ඉටු කල යුතු කාර්යයන් සඳහා දිනකට පැය 12 කට වැඩි කාලයක් ගත කිරීමට සිදු වීම හේතුවෙන් බව පැහැදිලි කරන ලදී.
එම පිළිතුර සම්භන්ධයෙන් වැඩි දුර විමසීමක් නොකිරීමෙන් එකී පිළිතුර පිළිගෙන ඇති බවට උපකල්පනය කරන ලදී.
මුහුණු පොතෙහි මෙම ආපදා අවස්ථාවේදී දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කලත්, අවසානයේ විගණන විමසුම් වලට පිළිතුරු දීමට සිදුවන බව කලකිරීමෙන් මෙන් සමහර රජයේ නිලධාරීන් සටහන් තබා තිබෙනු දුටුවා. එය වැරදි ආකල්පයක්.
විගණන කාර්ය මණ්ඩලය සෑම විටම ඔබගේ රාජකාරි කටයුතු නිවැරදිව හා පහසුවෙන් කරගෙන යාමට පහසුකම් සලසන පිරිසක් බව පිළිගැනීම සැම විටම ඔබට වාසියක් වේවි. ඔවුන් කරනු ලබන්නේ රජයේ නිලධාරීන් වශයෙන් ඔවුනට පැවරී ඇති කාර්යයන්ය. එය ඔවුනගේ වගකීමක් වේ. ඔවුන්ගේ පැමිණීම කරදරයක් ලෙස නොසිතා ඔවුන් දෙන උපදෙස් පිලිපැදීමෙන් හා ඔබගේ රාජකාරිමය ගැටළු වලට උපදෙස් විමසීමෙන් ඔබගේ කටයුතු සඵල කරගත හැකිවනු ඇත. ඒ සඳහා ඔබ අවංකව විනිවිදභාවයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වේ.

අවසාන සටහන
සුනාමියෙන් අවතැන් වුවන්ට සහන සහන සැලසීම වෙනුවෙන් දක්වන ලද විශිෂ්ඨත්වය වෙනුවෙන් ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට එතෙක් පිරිනමා නොතිබූ, ඊට පසුව වුවද පිරිනමනු නොලැබූ "වීර චුඩාමණි" සම්මානය එවකට සිටි දිසාපති තුමා වෙත ජනාධිපතිවරයා විසින් විශේෂ උත්සවයකදී පිරිනමන ලදී. (ප්‍රතිපත්තියක් ලෙස මෙම සටහන තුල නම් සඳහන් නොකරන බැවින්, එතුමාගේ නමද සඳහන් නොකරමි. එහෙත් එතුමා අද අප අතැර ගොසිනි.)
මෙහි සඳහන් කරුණු දන්නා සමහර අය අද ජිවතුන් අතර නැත. බොහෝ අය විශ්‍රාම ගොසිනි. සිටින අය මෙම බොහෝ තොරතුරු නොදනී.

(මීළඟට "වත්කම් කළමනාකරණය" පිලිබඳ කලින් නිර්මාණය කිරීමට ආපෙක්ෂා කල නමුත් කල් දැමුණු පාඩම බලාපොරොත්තු වන්න.)


Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි