Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.7 කොටස


වත්කම් කළමනාකරණය
2.7 අත්වැල
අත්පත් කරගත් වත්කම් පිලිබඳ ගිණුම් තැබීම (දෙවන කොටස)

වත්කම් කළමනාකරණය යටතේ කුමන වත්කම් වල අගයන් ගිණුම් ගත කරන්නේද යන්න "වත්කම් අත්පත් කර ගැනීමේ මුලාශ්‍රයන්" පාඩමෙන් මීට පෙර ඔබ වෙත ඉදිරිපත් කලෙමි. එම වත්කම් පහත ගිණුම් තුලින් ඉදිරිපත් කල යුතු බවද සඳහන් කලෙමි.

ජංගම නොවන වත්කම් (ස්ථාවර වත්කම්)
1.      වාහන                                                               (2101)
2.      ගෘහ භාණ්ඩ හා කාර්යාලීය උපකරණ                 (2102)
3.      කර්මාන්තශාලා, යන්ත්‍ර සුත්‍ර සහ උපකරණ          (2103)
4.      ගොඩනැගිලි සහ ව්‍යුහයන්                                 (2104)
5.      භුමිය හා භුමි සංවර්ධනය                                   (2105)
6.      අනෙකුත්                                                          (2106)

ජංගම නොවන වත්කම් ගිණුම් තුලට වත්කම් වල වටිනාකම් ඇතුලත් කර ගන්නේ කෙසේද?
පහත ආකාරයන්ගෙන් වත්කම් ගිණුම් ගත කල හැක. (2006.07.30 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 422 චක්‍රලේඛය පරිදි)
1.      2004 වර්ෂය පදනම් වර්ෂය ලෙස ගෙන ලියවිලි අනුසාරයෙන් ඓතිහාසික අගය පදනම් කරගෙන වත්කම් අත්පත් කර ගැනීමේ සබැ අගය ගිණුම් ගත කිරීම.
2.      2004 වර්ෂය පදනම් වර්ෂය ලෙස ගෙන ලියවිලි අනුසාරයෙන් ඓතිහාසික අගය සොයා ගත නොහැකි වන විට තක්සේරු මණ්ඩලයක් මගින් එවැනි වත්කම් තක්සේරු කොට විධිමත් ලෙස අනුමත කරන ලද වටිනාකම් ගිණුම් ගත කිරීම. (වත්කම් තක්සේරු කිරීමේ ක්‍රියා පටිපාටිය පසු පාඩමකින් සාකච්ජා කෙරේ.)
3.      2006 වසරේ සිට ඉහත දක්වන ලද ප්‍රාග්ධන වැය විෂයන් මත කරන ලද වාර්ෂිකව සත්‍ය වශයෙන්ම වත්කම් අත්පත් කර ගැනීමේ සබැ අගය ගිණුම් ගත කිරීම.

මේ වන විට සියලුම රාජ්‍ය ආයතන ඉහත චක්‍රලේඛයට අනුගත වී සිය වත්කම් පිලිබඳ වාර්තා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කර ඇත. මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණාව වන්නේ වාර්ෂිකව එම වත්කම් වාර්තා තුලට ඇතුලත් කරනු ලබන වත්කම් වල අගයන් වැය ලෙජරයෙහි ඇති ඒ ඒ ප්‍රාග්ධන වැය විෂයන් වල මුළු වටිනාකමට 100% ක්ම සමාන විය යුතු වීමයි.

වත්කම් වාර්තා සැකසීමේදී මුහුණ පාන ගැටළු
1.      2006 වසරේ සිට භාණ්ඩාගාරය වෙත  ඉදිරිපත් කල වාර්තා තුල විශාල වශයෙන් ජංගම වත්කම් ඇතුලත් කර තිබුනද මේ දක්වා ඒවා හඳුනාගෙන නිවැරදි කිරීමට මේ දක්වා කටයුතු නොකිරීම.
2.      වර්තමානයේදීද ඒ ඒ ප්‍රාග්ධන වැය විෂයන් වල මුළු වටිනාකමට 100% ක්ම සමාන ලෙස භාණ්ඩාගාරය වෙත වාර්තා ඉදිරිපත් කලද වත්කම් ලේඛන සැකසීමේදී එම වාර්තා තුල ජංගම වත්කම් වල වටිනාකම්ද ඇතුලත් කර ඇති බව හඳුනා ගැනීම.
3.      වත්කම් වල වටිනාකම් වල අගයන් වැඩියෙන් හෝ අඩුවෙන් වාර්තා කර තිබීම.
4.      තම ආයතනයට නිත්‍යානුකුල හිමිකාරත්වය නොමැති වත්කම් වත්කම් වාර්තා තුලට ඇතුලත් කර තිබීම.

ගැටළු නිරාකරණය කර ගැනීමේ උපාය මාර්ගයන්

·         ගැටළු අංක 01 සඳහා අනුගමනය කල යුතු උපාය මාර්ග

                                i.            2006 වසරේ සිට 2012 වර්ෂය දක්වා භාණ්ඩාගාරය වෙත යවන ලද වත්කම් වාර්තා මේ වන විට ලේඛනාගාරය වෙත යවා ඇත්නම් ඒවා විධිමත් ලෙස ආපසු ලබා ගැනීමට කටයුතු කරන්න. (2013 වසරේ සිට උපචිත පදනම යටතේ ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ගයන් පසුව සාකච්ජා කෙරේ.)
                               ii.            ඒවා තුල ජංගම වත්කම් වල වටිනාකම් අඩංගුව තිබේදැයි පරික්ෂා කරන්න. (එකල එම වාර්තා තුල පන්චර්, ස්ටෙප්ලර්, ගණක යන්ත්‍ර, උදලු, අලවංගු, විල්බැරෝ හා වෙනත් පරිභෝජන ද්‍රව්‍ය ඇතුලත් කර තිබු බව භාණ්ඩාගාරය විසින් හඳුනාගෙන තිබිණි.)
                             iii.            එවැනි දෑ වත්කම් වාර්තා වල ඇතුලත්ව තිබේනම් ඔබ ආයතනයේ අදාල වත්කම් වාර්තාවේ ආරම්භක ශේෂයන් නිවැරදි නොවේ.
                             iv.            එම ගැටලුව විසඳා ගැනීම සඳහා ජංගම නොවන වත්කම් වාර්තාවේ අංක 04 තීරුවේ වෙනස්කම් යටතේ අදාල ජංගම වත්කම් වල ප්‍රමාණයන් හා ඊට අදාල වටිනාකම් අඩු කිරීම් ලෙස ඇතුලත් කරන්න.
                               v.            කිසි විටක ආරම්භක ශේෂයෙන් එම වටිනාකම් අඩු නොකිරීමට සටහන් කර ගන්න.

·         ගැටළු අංක 02 සඳහා අනුගමනය කල යුතු උපාය මාර්ග

                                i.            මෙවැනි ගැටළුවක් ඇතිවීමට හේතුව ඔබ හඳුනා ගෙන තිබේද?
                               ii.            එයට හේතුව ජංගම වත්කම්ද ප්‍රාග්ධන වැය විෂයන් වල ප්‍රතිපාදන භාවිතා කොට මිලදී ගෙන තිබීමයි. වත්කම් වාර්තාවල වාර්ෂික වියදමට සමාන අගය ඇතුලත් කල යුතුව ඇති බැවින් ඒවාද ඇතුලත්ව වාර්තා කර තිබීමයි.
                             iii.            ගැටළු අංක 01 සඳහා ලබා දුන් විසඳුම වන IV සඳහන් පියවර අනුගමනය කර වත්මන් වාර්තාව තුලින් එය නිවැරදි කිරීමට කටයුතු කරන්න.
                             iv.            මෙය නැවත ඇති නොවීමට ගතයුතු පියවර (Corrective Action) වන්නේ ජංගම වත්කම් මිලදී ගැනීම සඳහා වන ප්‍රතිපාදන නිවැරදිව පුරෝකථනය කර අදාල පුනරාවර්තන වැය විෂයන් යටතේ වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුලත් කර ගැනීමයි.
                               v.            උපචිත පදනම් ගිණුම්කරණය යටතේ ජංගම වත්කම් තොගය යටතේ සටහන් කෙරෙනු ඇත.

·         ගැටළු අංක 03 සඳහා අනුගමනය කල යුතු උපාය මාර්ග

                                i.            මෙයට හේතුව වත්කම් වත්කම් වර්තමාන වෙළඳ පොළ අගයට නිවැරදි ලෙස තක්සේරු නොකිරීම විය හැක.
                               ii.            මෙවිට තක්සේරුකරණ ක්‍රමවේදයන් අනුගමනය කර නිවැරදි ලෙස වත්කම් වර්තමාන වෙළඳ පොළ අගයට නිවැරදි ලෙස තක්සේරු කරන්න.
                             iii.            මුල් තක්සේරු අගය හා නව තක්සේරු අගය අතර වෙනස ගණනය කරන්න.
                             iv.            එකී වෙනස අදාල පරිදි ගැටළු අංක 01 සඳහා ලබා දුන් විසඳුම වන IV සඳහන් පියවර අනුගමනය කර වත්මන් වාර්තාව තුලින් එය නිවැරදි කිරීමට කටයුතු කරන්න.

·         ගැටළු අංක 04 සඳහා අනුගමනය කල යුතු උපාය මාර්ග

                                i.            මෙවැනි තත්වයක් බොහෝ විට ඇතිවන්නේ නව අමාත්‍යංශ ඇතිවීම, විෂය පථයන් වෙනස් වීම හේතුකොට ගෙන වත්කම් අවිධිමත් ලෙස පැවරීම හෝ අමාත්‍යවරුන් හා විධායක නිලධාරීන් මාරු වන විට ඔවුන් භවිතා කල විවිධ වත්කම් විධිමත් අධිකාරියකින් තොරව නව සේවා ස්ථාන වෙත ගෙන ඒමයි. උදා: වාහන
                               ii.            එවැනි වත්කම් දැනටමත් වාර්තා කර තිබේනම්, ඒවායේ වටිනාකම් ගැටළු අංක 01 සඳහා ලබා දුන් විසඳුම වන IV සඳහන් පියවර අනුගමනය කර වත්මන් වාර්තාව තුලින් එය අඩු කිරීම් ලෙස නිවැරදි කිරීමට කටයුතු කරන්න.
                             iii.            නිත්‍යානුකුල පියවරයන් අනුගමනය කරමින් සිය භාරයේ පවතින වත්කම් වල නිත්‍යානුකුල හිමිකාරත්වය තම ආයතනය වෙත ලබා ගැනීමෙන් අනතුරුව නැවත ගැටළු අංක 01 සඳහා ලබා දුන් විසඳුම වන IV සඳහන් පියවර අනුගමනය කර වත්මන් වාර්තාව තුලින් එය ඇතුලත් කිරීමට කටයුතු කරන්න.
                             iv.            නිත්‍යානුකුලව පවරා ගත නොහැකි සියලුම වත්කම් ඒවායේ නිත්‍යානුකුල හිමිකාරත්වය ඇති ආයතන වෙත නැවත පවරා දීමට වහාම කටයුතු කරන්න. එයට හේතුව ඒවා ඒවා හිමි ආයතන සිය වත්කම් ලෙස දැනටමත් ඔවුනගේ වත්කම් වාර්තා වලට ඇතුලත් කර තිබීමයි.
පාද සටහන
මෙම පාඩම් කොටස බොහෝ අයට නවමු අත්දැකීමක් විය හැකි බැවින්, වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම  සඳහා ඔබගේ අදහස හෝ ගැටලුව Comment කරන්න.

(මීළඟට අත්පත් කරගත් වත්කම් පිලිබඳ ගිණුම් තැබීම - (තෙවන කොටස) ”පාඩම බලාපොරොත්තු වන්න.)

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි